ඊ.පී.එෆ් කෝටි 50 ක ආයෝජනය පුස්සක්


(සුජිත් හේවාජුලිගේ)

සේවක අර්ථසාධක අරමුදල(ඊ.පී.එෆ්) ගුවන් සමාගමක කළ කෝටි 50 ක ආයෝජන වෙනුවෙන් එම අරමුදලට සත පහක හෝ ප්‍රතිලාභයක් ලැබී නැතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

සේවක අර්ථසාධක අරමුදල මුදල් ආයෝජන කිරීමේදී  සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදිය හැකි වන පරිදි ප්‍රශස්ත ආකාරයට එය කළ යුතු වුවද එවැනි තත්ත්වයක් පසුගිය කාලයේදී දක්නට නොලැබුණු බව පවසන වලේබොඩ මහතා  අන්තනෝමතිකව සහ  අවිචාරවත්ව කර ඇති මෙම ආයෝජන හේතුවෙන් එම අරමුදලටද කිසිදු වාසියක් අත්වී   නැතැයි සඳහන් කළේය.

මුදල් ආයෝජනය කළ ඇතැම් සමාගම්වලින් අර්ථසාධක අරමුදලට සත පහක් හෝ  ලැබී නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

අරමුදල ලයිස්තුගත සමාගම් 11ක ආයෝජනය කර ඇති මුදල රුපියල් කෝටි 738 ක් බවත් මෙම කොටස් ආයෝජනයන් සඳහා 2019, 2020 හා 2021 යන වර්ෂවල කිසිදු ලාභාංශයක් ලැබී නැතැයි කෝපා කමිටු වාර්තාවල  පැහැදිලිව  සඳහන් වන බවත්  මන්ත්‍රීවරයා පැවසුවේය.

මින් සමාගම් හයක් සංචාරක ව්‍යාපාරය හා බැඳුණු ඒවා බව පැවසූ ගාමිණී වලේබොඩ මහතා ලයිස්තුගත සමාගම් අටක කර තිබූ රුපියල් කෝටි948 ක සාමාන්‍ය කොටස් සහ ආයෝජනයන් සඳහා2021 වර්ෂයේදී  ලාභාංශ ආදායම පවා ලැබී නොතිබූ බවද ප්‍රකාශ කළේය.

ජනතාවගේ මුදල් ඵලදායී නොවන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වැලැක්වීමට රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සියලුම ආයතනවලට විද්‍යාත්මක ආකාරයේ  සුවිශේෂ මාර්ගෝපදේශ හඳුන්වාදීමද වැදගත් බව පෙන්වා දුන්නේය.

පටු වාසි වෙනුවෙන් ජනතාවගේ මුදල් මෙලෙස වැරදි ආකාරයට ආයෝජනය කිරීමට ඉඩදී බලා සිටීම රජයක වගකීම නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.