ඉරාන - ඊශ්‍රායල යුද උණුසුම නිසා මෙරට ගුවන් ගමන් මාර්ගත් වෙනස් කරයි


(ටී.කේ.ජී.කපිල)

ඉරාන - ඊශ්‍රායල අතර යුද උණුසුම වර්ධනය වීමත් සමග ඉරානයේ ගුවන් අවකාශය වසා දමා ඇති හෙයින් යුරෝපයට කෙරෙන ගුවන් ගමන්වල වෙනසක් කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

ඒ අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානය , ගුවන් ගමන් මාර්ගය වෙනස් වීම නිසා , යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළට හරවා යවා ඇත.

මෙම ගුවන් යානය අද (13) පස්වරු 12.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබූ අතර , එය නව තත්ව යටතේ සවස 06.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව දීපාල් පෙරේරා මහතා පැවසීය . එසේම අද (13) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානය , ඉන්ධන ලබා ගැනීම සදහා මේ වනවිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා ඇති බව දීපාල් පෙරේරා මහතා පැවසීය .

මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් පසුව විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වෙත ළඟා වීමට නියමිතය.

ඒ අනුව , මේ ආකාරයට විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ යුරෝපයේ ගමනාන්ත වෙත ගමන් ගන්නා ගුවන් යානාවලට , මෙම යුද උණුසුම නිසා , වෙනත් විකල්ප ගුවන් ගමන් මාර්ග අනුගමනය කිරීමට සිදු වී තිබේ .