ඉම්රාන් යළි අත්අඩංගුවට ගැනීමේ උත්සහායක්?


(විමුක්ති එස් රුද්‍රිගු)

නැවත වරක් පොලිසිය තම නිවස වටකර ඇතැයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

තමන් නැවත වරක් අත් අඩංගුවට පත්වීමට පෙර තබන අවසන් ට්විටර් සටහන මෙය විය හැකි යැයි ඔහු පවසා තිබේ.

ඉම්රාන් ඛාන් ගේ සමන් පාර්ක් නිවස පොලිසිය වටකර ඇතැයි පකිස්තාන මාධ්‍යද වාර්තා කර ඇත.

පසුගිය දා පැවති විරෝධතා වලදී හමුදාවට පහර දුන් ත්‍රස්තවාදීන් 30 ත් 40 ත් අතර ප්‍රමාණයකට පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තම නිවසේ රැකවරණය සපයන බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇතැයි බලධාරීන් චෝදනා කර ඇත.

ඉම්රාන් ඛාන්ගේ නිවසට නැවත වරක් පොලිසිය යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් පාකිස්තාන බලධාරීන් මෙම චෝදනා එල්ල කර තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ එම ත්‍රස්තවාදීන් නීතියට බාර කිරීමට ඉම්රාන් ඛාන්ට පැය 24 ක කාලයක් ලබා දෙන බවත් ඔවුන්ව බාර නොදුනහොත් සමන් පාක් නිවසේ සැඟවී සිටින ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කරන බවත් බලධාරීන් පවසා ඇත.

තාරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පවසා ඇත්තේ ඉම්රාන් ඛාන්ට එල්ල කරන මෙම චෝදනා දේශපාලන උණුසුම තවත් වැඩි කරනු ඇති බවයි.