ඉන්ධන හැංගුවට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක්


 

(උපාලි ආනන්ද)

ඉන්ධන තොග  සඟවා  පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප‍්‍රකාශ සිදු කර තමන් සතුව තිබූ ඉන්ධන අළෙවි නොකළැයි කියන චෝදනාවට  වරද පිළගත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඉන්ධන හලක කළමනාකරුවට මාස තුනක සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිර දඩුවම වසර තුනකට අත් හිටුවීමට නියෝග කළාය.

ඊට අමතරව විත්තිකාර ඉන්ධන පිරවුම් හල් හිමියාට මුදලින් රුපියල් 10,000 දඩයක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යළි මෙවැනි වැරදි නොකරන ලෙසත් එසේ එවැනි වැරදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක‍්‍රියා කරන බවද මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුට තරයේ අවවාද කළාය.

මෙසේ දඩුවම් නියම වූයේ  අනුරාධපුර ගුවන් තොටුපල පාරේ ඉන්දික ඉන්දන පිරවුම් හළේ කළමනාකරු වන සිංහලේ විජේකුමාර නමැත්තෙකි.
සැකකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්ච් මහතා සිය මූලික කරුණු දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීමකට අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය සඳහා මෙම ඉන්ධන තොග රඳවා තබා ගෙන සිටි දන්වා සිටියේය.

කෙසේ වෙතත් වරද පිළි ගෙන මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට විත්ති පාර්ශවය එකඟ බවද නීතිඥවරයා අධිකරණයට හමුවේ කියා සිටියේය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුරාධපුර දිස්ත‍්‍රික් කාර්යාලයේ ස්ථාන බාර නිලධාරි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී ඒ සී  පී පෙරේරා මහතා  ඉන්ධන තොග පාරිභෝගික ජනතාවට අළෙවි නොකර විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතාවයට රඳවා තබා ගන්නා ලෙසට නියම කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයකුට හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශවකට නීතිමය අයිතියන් නොමැති බවයි. 

ඉන්දන ලීටර් 7,000 අධික ප‍්‍රමාණයක් සඟවා තබා ගත්තේ විශේෂඥ වෛද්‍යවරුන්  සදහාම ද යන්න ප‍්‍රශ්න කළ පෙරේරා මහතා විත්ති පාර්ශවයේ එම ප‍්‍රකාශ අසත්‍ය  බවත්  ඒවා  තරයේ  බැහැර කරන බවත් අධිකරණය හමුවේ කියා සිටියේය.