ඉන්ධන නැතිවීමෙන් ඖෂධ බෙදන්නත් බාධා


(ඩයනා උදයංගනී)

විදේශ ආධාර හරහා මේ වන විට මෙරටට ඖෂධ තොග ලැබී ඇතත් ඉන්ධන අර්බුදය හමුවේ ඒවා බෙදා හැරීමට නොහැකිවීම නිසා රෝහල් මට්ටමින් තවමත් දැඩි ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේ දුෂ්කරතා නිසා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලවලට සේවයට වාර්තා කිරීමට නොහැකිවීමෙන් සහ ඖෂධ බෙදාහැරීමට නොහැකිවීමෙන් ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, ශල්‍යාගාර කටයුතු පවත්වාගෙන යාමද දුෂ්කර වී ඇතැයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ වන විටත් ප්‍රාදේශීය රෝහල් රැසක් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා වී ඇති අතර, ඇතැම් රෝහල්වල රෝගීන්ට දින ලබා දී ඇති ශල්‍යකර්ම පවා කල්දැමීමට සිදුව තිබෙන බව වෛද්‍යවරයා සඳහන් කළේය.

ඉකුත් සෙනසුරාදා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ඉන්ධන ලබාදීම සිදුවුවත්, ඇතැම් ස්ථානවල මතුවූ ගැටලු හේතුවෙන් ඇතැම් රෝහල්වල කාර්ය මණ්ඩලවලට ඉන්ධන නොලැබුණු බව කී වෛද්‍යවරයා කිසිම දිනෙක වැඩ වර්ජනයක් හෝ නොකළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර කටයුතු ද නැවතීමේ අවදානමක් මතුව තිබෙන බව කීවේය.

බොරැල්ල පිරවුම්හලේ හිමිකරුවන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලැබුණු ඉන්ධන තම හිතමිතුරන්ට ලබාදීම හේතුවෙන් ළමා රෝහලේ ‍සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ප්‍රමාණවත් තරම් නොලැබීම මෙයට හේතුව බව කී වෛද්‍යවරයා අඹතලේ පිරවුම්හලේ ද මෙවැනිම තත්වයක් මතුවූ බව පැවසීය.