ඉන්ධන නැතිව මාතර රෝහලේ සුව සේවකයෝ වැඩ වරති


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඉන්ධන නොමැති වීම හේතුවෙන් මාතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (19) උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවයට පත් වූහ.

නේවාසික රෝගීන්ට දිය යුතු කෑම වේලද අහිමි වී තිබු අතර දුර බැහැර සිට ඥාතීන් නොපැමිණි රෝගීන්ට නිරාහාරව සිටීමට සිදු ව ඇත.

වෛද්‍යවරුන් හැර සෙසු කාර්ය මණ්ඩලය මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පළ කළේය.

මේ නිසා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත දැඩි අවදානම් තත්වයකට පත්විය.

ඔවුන් වෙනත් රෝහල්වලට යැවීමට ගිලන් රථවලට අවශ්‍ය ඩීසල් ද ප්‍රමාණවත් තරම් නොවීය.

බාහිර රෝගී අංශය හා සායන ආදී සියලු කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර ප්‍රතිකාර ගැනීමට දුර බැහැර වල සිට පැමිණී රෝගීහු හිස් අතින් ආපසු  හැරී ගියහ.

සෞඛ්‍ය සේවකයන් සදහා පසුගියදා ඉන්ධන ලබා දීමට වෙන් කළ පිරවූම්හල්වලින් තමන්ට ඉන්ධන නිකුත් නොකර බාහිර පුද්ගලයන්ට ඉන්ධන ලබා දුන් බවත් ඒ හේතුවෙන් රැකියාවට ඒමට ඉන්ධන නොමැති බවටත් සෞඛ්‍ය සේවකයෝ චෝදනා කළහ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් මාතර මහ රෝහලේ රෝගී සත්කාර සේවාව සම්පූර්ණයෙන්ම පාහේ බිද වැටී තිබිණි.