ඉන්දුනීසියාව


(විමුක්ති එස් රුද්‍රිගු)

මේවනවිට ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක තත්වයේ පවතින එකම රෝහල වන ඉන්දුනීසියානු රෝහල විශාල මෘත ශරීරාගාරයක් බවට පත්වීමේ අවදානමකට මුහුණ දී ඇතැයි පලස්තීන බලධාරීන් පවසයි.

පවතින ඖෂධ සහ ඉන්ධන හිඟය හමුවේ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කළ හැකි ධාරිතාවය මෙන් 50 ගුණයක තුවාල ලැබූවන් පිරිසක් මේ වන විට එම රෝහලට පැමිණෙමින් සිටින බව පලස්තීන බලධාරීන් පෙන්වා දෙයි.

ඉන්ධන හිඟය හේතුවෙන් රෝහලේ ප්‍රධාන විදුලි උත්පාදක යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදුවූ බවත් කුඩා විදුලි උත්පාදක යන්ත්‍ර භාවිත කරමින් දැඩි සත්කාර ඒකකය ක්‍රියාත්මක තත්වයේ පවත්වාගෙන යන බවත් එම රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.

තව කොපමණ කාලයක් රෝහල ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වාගෙන යාමට හැකියාව ලැබේදැයි කිව නොහැකි බවත් කුමන හෝ මොහොතක රෝහල වසා දමන බවට නිවේදනයක් නිකුත් වනු ඇතැයි එම පෙන්වා දෙයි.එසේ රෝහල වසා දැමුණහොත් ඉන්දුනීසියානු රෝහල විශාල මෘත ශරීරාගාරයක් බවට පත්වනු ඇතැයි එහි කාර්ය මණ්ඩලය අනතුරු අඟවයි.

ගාසා තීරයේ ජබලියා සරණාගත කඳවුරට තෙවැනි වතාවටත් ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාර එල්ල කළ අතර මේ වන විට එම සරණාගත කඳවුරට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් 203 දෙනෙකු මියගොස් තවත් 800 ක් පමණ තුවාල ලැබුවේය.එම ප්‍රහාර වලින් තුවාල ලැබූ සියලු දෙනා රැගෙන ආවේද ඉන්දුනීසියානු රෝහලටය.