(විමුක්ති එස් රුද්‍රිගු)
ණය අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ගන්නා උත්සාහයට එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය චීනයට ආරාධනා කර ඇත.
එසේම ණය අර්බුදය හේතුවෙන් පීඩා විඳිමින් සිටින රටවලට ලබා දෙන සහාය කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඇය ඉල්ලීමක්ද කර තිබේ.සංචාරක ක්ෂේත්‍රයෙන් සහ තේ අපනයනයෙන් ලැබෙන ආදායම සීමා වීම හේතුවෙන් මූල්‍ය පීඩාවකට මුහුණ දී සිටින මැදි අදායම් රටකට ශ්‍රී ලංකාව හොඳම නිදසුනක් බව සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සහාය වීම සඳහා ණය හිමියන්ගේ කමිටුවක් පිහිටුවමින් ජපානය ගත් කඩිනම් ක්‍රියාමාර්ග අගය කරන බවත් ඒ සඳහා ඉන්දියාව සහ ප්‍රංශයද සහාය ලබා දුන් බවත් සීතාරාමන් මහත්මිය පෙන්වා දී තිබේ.
ණය අර්බුදවලට මුහුණ දී සිටින රටවල් සහාය සඳහා ඉල්ලුම් කළ පසු වසර ගණනක් බලා සිටීමට වීම හේතුවෙන් අපහසුතාවයට පත්වන බවත් ඒ හේතුවෙන් ලබා දෙන සහන කඩිනමින් ලබා දිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

