(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ප්‍රදානය කළ සහල් සහ කිරිපිටි බෙදාහැරීමට ඉන්ධන අර්බුදය සහ වර්ෂාව සහිත කාලගුණය බලපෑම් කර ඇති බවත් එම බාධක නොතිබුණේ නම් එම ආහාර මේ වන විට ජනතාවට බෙදීම අවසන් වන බවත් ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය.
ඉන්දියාව ප්‍රදානය කිරීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 40,000 න් පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 9,000 ක් සහ කිරිපිටි මෙට්‍රික්ටොන් 50 ක් ලැබුණු බව කී ආහාර කොමසාරිස්වරිය එම පළමු තොගය අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, බදුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්වලට බෙදාහැරිමින් සිටින බව ද සඳහන් කළාය.
එම ප්‍රදානය යටතේ ලැබුණු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යංශයට බාරදුන් බව කී ඉන්දියාවෙන් එම ආහාර තොග ලැබෙන ආකාරය අනුව දිස්ත්‍රික් 25 ටම බෙදාහරින බවත් ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මිය කීවාය.
ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ලොරි රථ ලබාගැනීමට නොහැකිවීමෙන් බදුල්ල සහ නුවරඑළියට දුම්රියෙන් ආහාර ප්‍රවාහන කළ බවත් සෙසු දිස්ත්‍රික්කවලට ලොරි රථවලින් බෙදාහැරිය බවත් ක්‍රිෂ්ණමූර්ති මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.