ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිංට කොරෝනා


ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ආචාර්ය මන්මෝහන් සිං කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

88 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ ඇත්තේ ඔහුට උණ ගැනී තිබුණු බැවිනි. කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ඔහු නවදිල්ලි රෝහලකට ඇතුළත් කෙරුණු බවත්, ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනෙද්දී, ආචාර්ය මන්මෝහන් සිං, කොරෝනා වයිරසයට එරෙහිව ඉන්දීය විද්‍යාඥයන් සියයට සියයක් ඉන්දීය තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ 'කොවැක්සින්' එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගෙන තිබුණි.

ආචාර්ය මන්මෝහන් සිං ට 'කොවැක්සින්' එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ මාර්තු 4 වැනිදා බවත්, දෙවැනි මාත්‍රාව ලබා දී ඇත්තේ පසුගිය අප්‍රේල් 3 වැනිදා බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)