ඉන්දියාවේ දකුණු කොටසට ලංකාවේ අතිරික්ත විදුලිය


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා අරඹා ඇතැයි ද එම  සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි බලයක් වෙරළාසන්න සුළඟින්  උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙන බව ජනාධිපතිවරයා කීය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට අවස්ථාව සැලසෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙන බවද ජනාධිපතිවරයා පැවසීය.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි. ස්විස් - ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.