ඉන්දියාවේ අන්ත දුගීභාවය මිලියන 75ට අඩු වෙයි


(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය වසර 11ක කාලයේදී අන්ත දුගීභාවයෙන් පෙළෙන ඉන්දියානුවන් පිරිස මිලියන 344 සිට මිලියන 75 දක්වා අඩුවී ඇති බවත් ඒ අනුව පසුගිය වසර 11ක කාලයේදී ඉන්දියාව මිලියන 269ක ජනතාවක් අන්ත දුගී භාවයෙන් මුදවා ගෙන ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව 2022-23 වසර තුළ ඉන්දියාවේ දුගී අනුපාතය සියයට 5.3 දක්වා පහළ ගොස් ඇති අතර ඉන්දියාවේ දුගී අනුපාතය 2011-12 වසරවලදී සියයට 27.1 ක් ලෙස සටහන්වී තිබිණි.

දත්තයන්ට අනුව 2011-12 වසරේදී උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, බිහාර්, බටහිර බෙංගාලය සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්ත ඉන්දියාවේ අන්ත දුගීභාවයෙන් පෙළෙන ජනතාවගෙන් සියයට 65 ක ප්‍රතිශතයක් නියෝජනය කර ඇති අතර 2022-23 වසර වනවිට  මෙම ප්‍රාන්තවල වැඩි පිරිසක් අන්ත දුගීභාවයෙන් මුදවා ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබී ඇත.

මෙම කාල සීමාව තුළදී ඉන්දීය ග්‍රාමීය ප්‍රදේශවල අන්ත දුගීභාවය සියයට 18.4 සිට සියයට 2.8 දක්වාත්, නාගරික ප්‍රදේශවල අන්ත දුගීභාවය සියයට 10.7 සිට සියයට 1.1 දක්වාත් පහළ වැටී තිබෙන බව ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඉන්දීය රජයේ අවාස් යෝජනා, උජ්වාලා යෝජනා, ජන් ධන් යෝජනා සහ ආයුෂ්මාන් භාරත් ඇතුළු වැඩසටහන් දුගීභාවය අඩු කිරීම සඳහා ඉවහල් වී ඇත. මෙම මුල පිරිම් නිවාස, ආහාර පිසීම සඳහා පිරිසිඳු ඉන්ධන, මූල්‍ය අන්තර්ග්‍රහණිත්වය සහ සෞඛ්‍ය ප්‍රවේශය වැනි විවිධ අංශ ආවරණය කරන බවද පැවැසෙයි.

ඩී.බී.ටී වැනි පද්ධතීන්, ඩිජිටල් සේවා පුළුල් කිරීම සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයද දුගී ජනතාවට සහන සලසයි.