ඉදිකිරීම් නිලධාරීන් 33කට කෝටි ගාණක දීමනා


(සුජිත් හේවාජුලිගේ )

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් තිස් තුන් දෙනකුට අවස්ථා හයකදී ස්ථිර තනතුරට  හිමිවන වැටුපට අමතරව රුපියල් කෝටියකට ආසන්න මුදලක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට පටහැනිව 2020 වර්ෂයේදී ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙයට අමතරව එම මුදලට අදාළව සේවක අර්ථසාධක සහ බාරකාර අරමුදල් සඳහාද ලක්ෂ 14කට වැඩි මුදලක්  ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ බාහිර පාර්ශ්වයන් වෙතින් සංවිධානයට ලැබෙන නායයෑම් අවදානම් අවම කිරීමේ උපදේශන කොන්ත්‍රාත්තු සඳහා සම්බන්ධ වූ නිලධාරින් පිරිසකටය.

මේ අතර නායයෑම් සමීක්ෂණය සඳහා 2020 වර්ෂයේදී  ලැබී තිබූ ඉල්ලුම්පත් 7879කින් අවදානම් තක්සේරු වාර්තා  නිකුත් කර තිබුණේ 4162ක් පමණක් බව විගණන  නිලධාරීහු පවසති.

තවද නායයම් විස්ථාපන හඳුනාගැනීමේ පද්ධති වෙනුවෙන් 2015  වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට  ලැබී තිබුණු රුපියල් හැත්තෑ හය ලක්ෂයක පමණ මුදලක්ද මහා භාණ්ඩාගාරයෙන් ලැබී තිබූ රුපියල් පනස් ලක්ෂයක පමණ මුදලක්ද  2020 දෙසැම්බර් 31 වනවිටත් ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.