(දිලීප් ජයසේකර)
කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන විදේශීය නෞකාවක කාර්ය මණ්ඩලයේ 155 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් රෝමයේ සිට අද(01) මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ වෙත පැමිණි බව මත්තල ගුවන් තොටුපොළ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.
ඉතාලියේ රෝමයේ ලියනාඩෝ ඩාවින්සි ගුවන් තොටුපොළේ සිට Wamos ගුවන් සේවයට අයත් ඒ.330 වර්ගයේ ඊ.බී.544 දරන විශේෂ ගුවන් යානයෙන් පිරිස පෙරවරු 10.20ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට පැමිණියහ.
මෙහි පැමිණි සියලුදෙනා විදෙස් ජාතික නාවික කාර්ය මණ්ඩල නිලධාරීහු පමණක් වෙති. ඔවුන් සියලුම දෙනා මත්තල ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව කොළඹ වරාය වෙත බස් රථ මගින් රැගෙන යන ලදී. ඔවුන් කිසිවෙකුත් ලංකාවේ බාහිර ප්‍රදේශ වෙත නිරාවරණය නොකරන බව ගුවන් තොටුපොල කළමනාකරු පැවසුවේය.
ගුවන් යානය නාවික කාර්ය මණ්ඩලයේ 90 දෙනෙකු රැගෙන නැවතත් අද (02) පෙරවරුවේ ලංඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළ වෙත යාමට නියමිතය.
ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට හා පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කිරීමට පියවර ගන්නා බව ගුවන් තොටුපොළ කළමනාකරු පැවසුවේය.







