ඉඩම් ගැටලු සෙවීමට උතුරු ආණ්ඩුකාරවරයාගෙන් කමිටුවක්


(රොමේෂ් මධුෂංඛ)
 
උතුරු පළාතේ යුද හමුදා කඳවුර ඇතුළු ආරක්ෂක අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කර, ඔවුන්ගෙන් පූර්ණ වාර්තාවක් ලබාගැනීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පියවර ගෙන ඇත.
 
කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පවතින ඉඩම් ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කළ අතර අදාළ එම කමිටුවේ වාර්තාව පිළිබඳ සාකච්ඡාව මේ මස 26 වනදා සිදු කිරීමට පියවර ගෙන ඇත.
 
එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටලුව සම්බන්ධයෙන්ද සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති අතර ඔවුන්ගේ වාර්තා ද ලබන 24 වනදා සාකච්ඡා කිරීමට උතුරු ආණ්ඩුකාරවරයා විසින් පියවර ගෙන ඇත.
 
එහිදී උතුරේ ඉඩම් හිමි එහෙත් මේ වන විට විදේශගතව සිටින ජනතාවට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසටත්, උතුරේ දැනට පවතින ඉඩම් ගැටලුව විසඳීමට හැකි උපරිම කටයුතු කරන ලෙසටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බවද මෙම සාකච්ඡාවලදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය.

මෙම සාකච්ඡා සඳහා උතුරේ ආරක්ෂක අංශ, උතුරු පළාතේ දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, දේශපාලන නියෝජිතවරු සහ සිවිල් සංවිධාන නියෝජිතවරු සහභාගී වී සිටියහ.