ඉඩමක අයිතිය ඉල්ලා පවුලක් පාරට බසිති


(දිලීප් ජයසේකර)
 
හෝටලයක් ඉදිකිරිමට අසාධාරණ ලෙස ලබාගත් සිය ඉඩම යළි ලබා දෙන්නැයි ඉල්ලමින්  ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල් ගම්මානයේ පදිංචි දරු පවුලක් දින 08ක් තිස්සේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.
 
මෙලෙස උපවාසයේ නිරතව ඇත්තේ ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල්ගම්මානයේ පදිංචිව සිටි 45 හැවිරිදි  සුවදහැන්නදිගේ සරත් මහතා, ඔහුගේ බිරිද හා දරුවන් සිව් දෙනාය.
 
තමන් පදිංචිව සිටි ඉඩම ප්‍රාදේශීයසබා ජන්දයට ඉදිරිපත් වු අයෙකුට හෝටලයක් සෑදිමට දීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පසුගිය 24 දින සිට මෙම පිරිස අඛණ්ඩ උපවාසයේ නිරතව සිටිති.
 
උපවාසයේ නිරත සිව් දරු පියෙකු වන 45 හැවිරිදි  සුවදහැන්නදිගේ සරත් මහතා පවසන්නේ තමන් වසර 28ක් පදිංචිව සිටි මෙම ඉඩම නිළධාරීන් හා එකතුවී ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ වුමනාවට හෝටලයක් ගැසිමට තමන්ව ඉඩමෙන් ඉවත් කළ බවයි.
 
මේ සම්බන්ධයෙන් අප ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් එල්.අයි.වික්‍රමනායක මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසිය.
 
මොහු රජයේ ඉඩමක් බලෙන් අල්ලගෙන ඉදලා නිසා හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා ඔහුට විරුද්ධව 2007දී නඩු පවරලා තියෙනවා.ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමයි 2020 ජනවාරි මාසේ මේ අය ඉඩමෙන් ඉවත් කලේ නඩුවට අදාලව. මේ වන විට මේ ඉඩම සදහා ව්‍යාපෘති 03කට ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ අතරින් එක් ව්‍යාපෘතියක් සදහා ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවෙන් හා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවෙන් අවසර ලැබිලා තියෙනවා.මේ ස්ථානයේ හෝටලයක් හදන්න කියලා තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ යැයි පැවසිය.