ඉකුත් වසරේදී ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් වුණා


 

ඉකුත් වසරක කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා නව අංශ කරා පුළුල් හා ශක්තිමත් වූ බව ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙන් සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ බව සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගතය මතු කර තිබෙන අභියෝග මධ්‍යයේ දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව දෙරටේ ජනතාව අතර තිබෙන මිත්‍රශීලී බැඳීම් සංකේතවත් කරන බව අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවැසීය. කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව කරන සටනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතාවලට සහාය දැක්වීමට ඉන්දියාව දක්වන කැපවීම නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ද්විපාර්ශවීය සබඳතා උපරිම තලයකට ළඟා වනු ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

අග්‍රාමාත්‍ය මෝදි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි ධුර කාලය සඳහා සිය සුබ පැතුම් පිරිනැමූ අතර තවදුරටත් සමීප සබඳතා පැවැත්වීම සඳහා ඉන්දියාව සූදානම් බව සඳහන් කළේය.

මෙම ශුභාශිංසන පණිවුඩය නායකත්ව මට්ටමෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින නිරන්තර අන්තර්ක්‍රියා ඉදිරියට ගෙන යාමක් බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.

එවන් අන්තර්ක්‍රියා කොවිඩ්-19 වසංගතය විසින් මතු කර තිබෙන අභියෝග හමුවේ වුවද සංවර්ධන සහයෝගීතාවය, වෙළඳ සහ ආර්ථික සබඳතා සහ ජනතාව අතර බැඳීම් යන අංශවල පවතින සැලකිය යුතු වර්ධනයන් සඳහා හේතු වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

055