ඇවන්ට්ගාඩ් සැකකරුවෝ සිව් දෙනා 23 තෙක් යළි රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)

ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ  4, 5 ,6 සහ 7 වන සැකකරුවන් තවදුරටත් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත  කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (9) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත  කරනු ලැබුවේ 4 වන සැකකාර රක්නා ලංකා සමාගමේ සභාපති  වික්ටර් සමරවීර, 5 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, 6 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල 7 වන සැකකාර පොලිස් කොමිසමේ ලේකම්  සමන් දිසානායක යන සැකකරුවෝ  සිව් දෙනා වෙති.

සමන් දිසානායක යන සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළ අතර ඔහු තවදුරටත්  ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවට   බන්ධනාගාරය විසින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව අද අධිකරණයේ පෙනී සිටියේ මෙයට පෙර ඇප ලබා සිටින ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා වූ ගෙනඩි ගැව්රිලොව් පාවෙන අවි ගබඩාවේ අවි බාරකරු වන දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න එහි මෙහෙයුම් කළමනාකරු වන මිල්ලනියගේ  සුමුදු නිලුපුල් කොස්තා සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින වික්ටර් සමරවීර , කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙළ  සහ පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු යන සැකකරුවන් 6  දෙනා පමණි.

මෙහිදී නිතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වු රජයේ ජ්‍යෙෂ්ඨ අධීනිතිඥ ජනක බණ්ඩාර මහතා 7 වන සැකකාර සමන් දිසානායක යන අයගේ වෛද්‍ය වාර්තාව අනුව  ඔහුට අධිකරණයට ඉදිරිපත් නොවීමට තරම් බැරිකමක් නොමැති බවද නීතිය කාටත් එකහා සමාන විය යුතු බවද කියා සිටියේය.

මෙහිදි මහෙස්ත්‍රාත්වරයා පූර්ණ  වෛද්‍ය වාර්තාවක් සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.