ඇවන්ට්ගාඩ් නඩුවට එරෙහි තීන්දුව මාර්තු 13 දා ප්‍රකාශයට


(මනෝප‍්‍රිය ගුණසේකර)

 

‘ඇවන්ට්ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ‘රක්නා ලංකා’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ලබන මාර්තු 13 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (6) දැනුම් දුන්නාය.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඬුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

අල්ලස් කොමිෂන් සභාවේ සියලු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි බවට විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය අනුව නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන සහ නීතීඥ අජිත් පතිරණ මහත්වරුන් කරුණු ඉදිරිපත් කරමින් කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව ද රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා සහ ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය මෙම නඩුව ලබන මාර්තු 13 වැනිදා යළි කැඳවීමට නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය පෙනී සිටියාය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඬුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.