(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන් ගණන 18000 ට ළඟා වෙද්දී සහ ගාසා තීරයේ පවුල්වලින් සියයට 36 ක් දැඩි කුසගින්නේ පෙළෙද්දී වහාම මානුෂීය සටන් විරාමයකට එළඹෙන ලෙස ඊශ්‍රායලයට බලකරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපදය නිශේධ බලය භාවිත කරමින් පරාජයට පත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සිය ධුර කාලය තුළදී ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වෙනි වගන්තිය ක්‍රියාවට නංවමින් මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෙන ආවේය.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධය ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යාමට තර්ජනයක් එල්ල වනු ඇතැයි විශ්වාස කරන බැවින් මෙම යෝජනාව ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ බව මහ ලේකම්වරයා පැවැසුවේය.
ඡන්ද විමසීමේදී ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් රාජධානිය ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ට හිමි නිෂේධ බලය භාවිත කරමින් යෝජනාව පරාජයට පත් කළේය.
එම යෝජනාව ගෙන ආ අවස්ථාවේ සටන් විරාමයක් ගෙන ඒම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් හමාස් සංවිධානයට සහාය ලබා දීමට උත්සාහ කරන බවත් මහ ලේකම්වරයාගේ ධුර කාලය ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යාමට තර්ජනයක් බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.

