ඇමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි


ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර එහිදි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාව පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ කණ්ඩායම මුණ ගැසුණු බවත් ද්විපාර්ශවීය සබඳතා පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බවත් එම සාර්ථකව අවසන් වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර එහි මෙසේ දැක්විණි.

“යහපාලනය මත පදනම් වූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන ස්වෛරී, ආරක්ෂිත සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර නව සබඳතා ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පළමු හමුව සිදුවුණා”.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය මීට පෙර ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක් කර තිබිණි.