ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු 7 ක් හෙට දිවුරුම් දෙති


(අජන්ත කුමාර අගලකඩ)

ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් ඉතිරි හත්දෙනා ද හෙට (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය , රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූරවල දිවුරුම් දෙති.

ඒ අනුව රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් ඇමැතිවරුන් ලෙසද ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් ෆාරිස්, අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙසද අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිතය.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට සහය පළ කිරීමක් ලෙස පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු නව දෙනෙක් ඉකුත් ජූනි මස 3 වැනිදා සිය ධූරවලින් ඉල්ලා අස්වූහ.

ඉන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු දෙදෙනා ඉකුත් මස 9 වැනිදා ඔවුන් කලින් දැරූ කැබිනට් ඇමැතිධූරවල දිවුරුම් දුන්හ.

ඉතිරි මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනාට ඇමැති ධූර ලබා දෙන්නැයි නිර්දේශ කරමින් ඔවුන්ගේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (24) යවනු ලැබීය.

ඒ අනුව ඔවුන් හත් දෙනා හෙට (26) පෙරවරු 9.00ට ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.