ඇමරිකාවෙන් ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන 5ක දඩයක්


පෞද්ගලිකත්වය උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු අද (24) ලොව විශාලතම සමාජ ජාලය වන ෆේස්බුක්සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත දඩයක් පැනවූහ. 

එම දඩය පැනවීමට අමතරව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් නව සීමා ඉදිරිපත් කරන්නැයි ද ෆේස්බුක් සමාගමේ, සංස්ථාපිත ආකෘතිය නවීකරණය කරන්නැයි ද ඇමෙරිකා බලධාරිහු එම සමාගමට දැන්වූහ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ කොමිසම හෙවත් ‘ද ෆෙඩරල් ටේ්‍රඞ් කමිෂන්’ මෙලෙස ෆේස්බුක් සමාගමට දඩ පැනවූ අතර පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමේ වරදට ඕනෑම සමාගමකට පැනවූ ඉහළම දඩය මෙය යැයි ද එම කොමිසම සඳහන් කළේය. එමෙන්ම ඇමෙරිකානු රජය ඕනෑම වරදක් වෙනුවෙන් සමාගමකට පැනවූ ඉහළම දඩය මෙය බව ද පැවැසුණි. 

“ෆේස්බුක් සමාගම ලෝ පුරා සිටින එහි බිලියන ගණනක් පරිශීලකයන්ට ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරන බවට පොරොන්දු පිට පොරොන්දු ලබා දී තිබෙනවා. එහෙත් ෆේස්බුක් සමාගම පාරිභෝගිකයන්ගේ තේරීම් තකන්නේ නැහැ” යැයි ෆෙඩරල් වෙළෙඳ කොමිසමේ සභාපති ජෝ සිමන්ස් මහතා පැවැසීය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055