ඇමරිකානු රාජ්‍ය ලේකම් මේ මාසයේදී මෙහි එයි


(හර්ෂණ තුෂාර සිල්වා)

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මේ මස අගදී මෙරටට පැමිණෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා ලංකාදීපයට අද (11) පැවැසීය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත අතර ඔහු සමඟ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ද ඉන්දියාවට පැමිණීමට නියමිත ය.

ඒ අතරවාරයේදී ඔහුට මෙරටට පැමිණීමේ ඉඩක් ඇතැයි දේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවැසීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයි ද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම්දීමක් කර නැතැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

ඉහළ පෙළේ නිල සංචාරයක් සිදු වන්නේ නම් එය දැනුම් දෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් බවත් තවමත් එවැනි නිල දැනුම් දීමක් කර නැති බව ද ඇය කීවාය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මීට පෙර පසුගිය වසරේ ජූනි 27 වැනිදා කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජපානයේ පැවැති ජී 20 සමුළුවට සහභාගී වීමට සිදු වූ හෙයින් එම සංචාරය අවලංගු කෙරුණි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පසුගිය සතියේදී ජපානයට පැමිණි අතර එහිදි ඉන්දීය, ජපාන සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා පැවැත්වීය. එහිදි චීනයට එරෙහිව මිත්‍ර සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි.

ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරියකු මෙරට සංචාරයක නිරත වන්නේ 2015 වසරෙන් පසුව ය. හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයක් මත ඇමෙරිකාවේ එවකට රාජ්‍ය ලේකම් ජෝන් කෙරි 2015 වසරේ මැයි 3 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා ජනවාරි 13 වැනිදා මෙරටට පැමිණියාය. එදිනම රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝ ද දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ද මෙරට සංචාරයක නිරත විය.

මේ අතර චීනයේ හිටපු විදේශ අමාත්‍යවරයකු සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික යං ජියේෂිගේ ප්‍රමුඛත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් ඉකුත් දා මෙරට පැමිණියේ ය.