
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනී ජූලි චංග් මහත්මිය පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත් වූ කුෂානි රෝහණදීර මහත්මියට සුභ පැතීම සඳහා පාර්ලිමේන්තුවට අද (2) පෙරවරුවේ පැමිණියාය.
පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය හමුවූ තානාපතිවරිය පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ශක්තිමත් කිරීම සඳහා නිරතුරුව සහය දෙන බව ප්‍රකාශ කළාය.
රෝහණධීර මහත්මියගේ පත්වීම කාන්තා ප්‍රජාවට මෙන්ම සියලු දෙනාටම සතුටට කරුණක් බවත් ඇය අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇමරිකානු තානාපතිවරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පුළුල්වී ඇති බවයි.
පාර්ලිමේන්තුවේ නව කාරක සභා රැසක් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය පාලන ක්‍රියාවලියට තරුණයින්ද සම්බන්ධ කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් ඇය සඳහන් කළාය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමටත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත් මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

