ඇප සම්පූර්ණ කළ කෙහෙළිය පවුල එළියට


(රෝෂන් තුෂාර)

ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතවූ  හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා ඇතුළු තිදෙනාගේ  ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට සැකකාර පාර්ශවය අද කටයුතු කර ඇත.

රුපියල් කෝටි නවයකට අධික මුදලක් සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16 ක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  මුදල් විසුද්ධිකරණ පනත ප්‍රකාරව  සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද ඇප මත මුදාහැරිනි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය එක් සැකකරුවෙකුට රුපියල් 50000 බැගින් මුදල් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුන බැගින් නියම කළාය.

ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද සියලු ඇප කොන්දේසි සපුරාලීමෙන්  පසුව සැකකරුවන් මුදා හරින ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  නියෝග කළාය.

කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන තෙක් සියලු ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ සැකකරුවන් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේය.

සැකකාර පාර්ශවය අද දින අධිකරණයට ඇප කොන්දේසී සපුරාලීම මේ වන විට සිදු කර ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරීමට නියමිතය.