ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

සැකකරුවන්ට ඇප නියමකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා එම නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. 

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවියගෙන් කළ විමසීමකදී හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියමකරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගයේ පිටපතක් ඉල්ලා ඇතත් මේ දක්වා එම පිටපත නොලැබුණු බවත් පිටපත ලද වහාම ඒ පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නොපමාව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීවාය.

බොහෝ විට ඉදිරි දින කිහිපය තුළ එම අභියාචනය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය.