ආයුර්වේද පනතේ වගන්ති 15ක් ව්‍යවස්ථාවට පටහැනියි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ වගන්ති 15 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වරයාට දැනුම්දී ඇතැයි  නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කෙරිණ.

එම පනත් පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනුකූල නැති අතර  අවශ්‍ය විශේෂ බහුතරය සහ  ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක්  සම්මත කළ හැකි බවද එම තීන්දුවේ දැක්වෙන්නේ යැයි  නියෝජ්‍ය කතානායකවරයා කීවේය.

පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්තිවල ආයුර්වේද භෛසජ්ජක සහ  භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධනය කළහොත් අනුකූල නැති බව අවසන් වනු ඇතැයි නිවේදනයේ සඳහන් වේ.

පනත් කෙටුම්පතේ 46(4) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි  බවද  එම තීරණයේ දැක්වේ.