ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු ප්‍රාදේශීය ලේකම්ලාගේ දොස් දකිති


(යොහාන් භාසුර)

ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ කටයුතු කිරීමේදී දැඩි හිරිහැරයට පත්වන බව ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ට පැමිණිළි කළහ.

ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු දේශපාලඥායන් නොසළකා හරින බවත් ඒ හේතුවෙන් ජනතාව ද අසීරුතාවට පත්වන බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

එහිදී පසු පෙළ මන්ත්‍රීවරු පැවසුවේ ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් එකම ස්ථානයේ වසර ගණනාවක් රැදී සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවත් ඔවුන් දේශපාලඥායන් නොසළකා හරිමින් කටයුතු කරන බවත්ය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු එලෙස පැවසූහ.

වසර පහකට වැඩි කාලයක් එකම ස්ථානයේ සේවය කළ ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාමනිලධාරීන්ට නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීම, චෝදනා එල්ල වී ඇති ප්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධයෙන් වාහාම පරීක්‍ෂණ පැවැත්වීම සහ ග්‍රාම නිලධාරීන් වැඩි පිරිසක් කාන්තාවන් වීම නිසා ග්‍රාමනිලධාරීන් ලෙස පිරිමින් වැඩි පිරිසක් බඳවාගත හැකි ආකාරයට ග්‍රාමනිලධාරීන් බඳවාගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට එම සාකච්ඡාවේදී යෝජනා කෙරිණි.