ආණ්ඩුව හම්බන්තොට ඉඩම් සුද්දන්ට විකුණන්න හදනවා


(චන්ද්‍රසේන ගමගේ)
 

මේ වනවිට වත්මන් රජය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අක්කර 6500ක් චීනයට හා සයිප්‍රසයට විකිණීමට සූදානමින් සිටින බවත්, මේ රටේ ජනතාවගේ පාරම්පරික බිම් කඩවල් සුද්දන්ට විකුණා දැමීමට එරෙහිව හම්බන්තොට ජනතාව සමග පාරට බහින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (30) සවස හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

‘‘කොකෝවා වැවීම සඳහා තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉඩම් අක්කර 1500 ක් සයිප්‍රසයට දෙන්න හදනවා. ඒ වගේම හම්බන්තොට වරාය විකුණා දැමීමෙන් නොනැවතුණු ආණ්ඩුව හම්බන්තොට ජනතාවගේ ඉඩම් අක්කර  5000ක් චීනයට පවරන්න සැලසුම් සකස් කරමින් යනවා. මේ වන විට මහවැලි බලප්‍රදේශයට අයත්ව තිබූ ඉඩම් ආණ්ඩුව නාගරික සංවර්ධන අධිකාරියට පවරා තිබෙනවා. කරගහමුල්ල, ආරබොක්ක, සල්මල්යාය, කටුවැව යන ගොවිබිම් ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් මේ අනුව ජනතාවට අහිමි වී යාමේ අවධානමක් තිබෙනවා‘‘ යැයි පැවසීය.

‘‘මේ ආණ්ඩුව මේ රටේ භාරකාරයෝ මිසක් අයිතිකාරයෝ නෙමෙයි. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නේ මේ රට එයාට සින්නක්කර ඔප්පුවකින් ලියලා දීලා කියලා. මේ ගොල්ලෝ සමහර විට බලයේ ඉන්නේ තව මාස 4ක් පමණයි. මේ ආණ්ඩුවට බලයක් දීලා තියෙන්නේ අවුරුදු 5කට පමණයි. එහෙම බලයක් දීපු ආණ්ඩුවක් කොහොමද බහුජාතික සමාගම් වලට මේ රටේ ඉඩම් සදාකාලිකව විකුණන්න හදන්නේ...“ යැයි වැඩිදුරටත් සඳහන් කළේය.