අසර්බන්ජාන්හි මියගිය සිසුන්ගේ සිරුර ගෙන්වන්න රජයෙන් ලක්ෂ 15 ක්


( තිළිණි ද සිල්වා ) 

අසර්බන්ජාන් හී මියගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාදීමට  තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඔවුන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය එම මුදල ලබාදීමට තීරණය කර ඇති බව මියගිය දරුවන්ගේ දෙමාපියන් වෙත විදේශ සබඳතා අමාත්‍යවරයා දැන්වීය.  

ඒ මහතා මෙසේ දැන්වූයේ එම දෙමාපියන් විදේශ අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යතුමා හමුවූ අවස්ථාවේදීය.

අසර්බන්ජාන් බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආඝ්‍රාණය වී මිය ගොස් තිබිණි.