අවුරුදු තිස්පහකට පසු මඩකලපුවට අලුත් තැපැල් හලක්


(අංජුල මහික වීරරත්න)

මඩකළපුව දිස්ත්‍රික්කයේ පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක ඉදිකිරීම් සිදු කෙරෙන්නේ වසර 35 කට පසුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ  රුපියල් මිලියන 29.5 ක වියදමින් නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩිය තැපැල් කාර්යාල නව ගෙඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මුල්ගල් තැබූ මොහොතේ සිටම ගොඩනැගිලි වල ඉදිකිරිම් ආරම්භ වන බව කී අමාත්‍යවරයා එම තැපැල් කාර්යාලය මෙම වසරේ දෙසැම්බර් මස ජනතා අයිතියට පත් කෙරෙන බව ද සඳහන් කළේය.

ප්‍රදේශයේ 9000 කට අධික ජනතාවකට ඉන් සේවා සැලසෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

පවතින තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල නවීකරණය සඳහා ද වත්මන් රජය මුදල් වෙන් කරන බවත්,  ලබන අයවැය මගින් ද සැලකිය යුතු මුදලක් තැපැල් සේවාව නඟා සිටුවීම සඳහා වෙන් කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී කීය.