
(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට හිග්ගස්හේන දෙවිපහළ මාර්ගයේ වතුයායේ, ගොඩපරගහගොඩ ඇළ හරහා ඇති පාලමට පැතිබැම්මක් සකස් කිරීමේදී, මීට වසර 100කට පමණ පෙර මැටි වර්ගයක් පුළුස්සා සකසන ලද (‘ටෙරාකොටා’ ආකාරයේ) කඳක් සහිත බෝක්කුවක පයිප්ප කොටසක් මතුව ඇති බව වතුයාය වසමේ ග්‍රාම නිලධාරිනී චන්‍ද්‍රානි කුසුමලතා මහත්මිය පැවසුවාය.
කොන්ත්‍රාත්කරුවෙකු මෙම පැති බැම්ම ඉදිකිරීම භාරගෙන ඇති බවත්, ඉදිකිරීම් සඳහා අත්තිවාරම කැපීමේදී පොළොව මතුපිට සිට අඩි 6ක් පමණ යටින් මෙම පයිප්ප කඳ මතුව තිබූ බවත්, ග්‍රාම නිලධාරිනිය කීවාය.
කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභිකාවක් වන දයා කස්තුරි මහත්මිය මේ බව දැක, ග්‍රාම නිලධාරිනියට එය මුලින්ම දන්වා තිබුණි. ග්‍රාම නිලධාරිනිය කුරුවිට ප්‍රාදේශීය ලේකම් දිලිනි ධර්මදාස මහත්මිය ද දැනුවත් කර එම පයිප්ප කඳට හානි නොකර අත්තිවාරම කපන ලෙස කොන්ත්‍රාත්කරුට උපදෙස් දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
බෝක්කු කඳෙන් අඩි එකහමාරක ප්‍රමාණයක් පිටතට පෙනෙන අතර පොළොව අභ්‍යන්තරයේ කොපමණ ප්‍රමාණයක් ඇද්ද යන්න දැනගැනීමට කැනීමක් කළ යුතුව ඇත. මෙහි විශ්කම්භය අඩි දෙකක් පමණ වන අතර වට ප්‍රමාණය අඩි හතරයි අඟල් අටකි. පයිප්පය ඇතුළත පස්වලින් පිරී ඇත.
මෙම බෝක්කු කඳ කිසියම් මැටි වර්ගයක් පුළුස්සා සකස් කර ඇති ආකාරයක් පෙන්නුම් කරයි. එළියට නිරාවරණය වී ඇති අග කොටසේ තවත් පයිප්පයක් සම්බන්‍ධ කළ හැකි ලෙස කට්ට කපා ඇත. අත්තිවාරම කපද්දී පයිප්පයේ පිපිරීම් කිහිපයක් ද නිරීක්‍ෂණය විය.
මෙය, යටත්විජිත සමයේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ හිග්ගස්හේන බඩු ගබඩාව පිහිටි ස්ථානය අසළ, පෙත්තාවිලේ නැගෙනහිර කොටසේ ජලය බැසයාමට මීට වසර 100කට පෙර ඉදිකරන්නට ඇති ජලය බැහැර කරන වාරි මාර්ගයකට යෙදූ බෝක්කුවක පයිප්පයක්දැයි සැකයක් ඇති බව ප්‍රදේශයේ වැඩිහිටියෝ කීහ.



