අවසරයක් නැතිව විසිතුරු මසුන් මෙරටට ගෙනආ අයෙක් රේගුවේදී අල්ලයි


(ටී.කේ.ජී.කපිල )
 

නිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (20)  කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
 
මොහු ගාල්ල , අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
 
ඔහු (20)  දින අලුයම 2.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
ඔහු විසින් ගෙන ආ ගමන් මලු වල මෙම විසිතුරු මසුන් 1022 ක් සගවා ගෙන තිබූ අතර , ඔවුන්ගේ වටිනාකම රුපියල් 6,11,133 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
 
මෙම මසුන් මෙරටට රැගෙන ඒම සදහා අවශ්‍ය ධීවර අමාත්‍යාංශයේ , ජල ජීවී දෙපාර්තමේන්තුවේ සහ සත්ව නීරෝධනායතනයේ අවසරය මෙම ව්‍යාපාරිකයා සතු නොවූ බැවින් , ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම අත් අඩංගුවට ගැනීම රේගු නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
 
පසුව මෙම මසුන් වහාම කටුනායක ගුවන් තොටුපළ පිහිටි සත්ව නිරෝධනායතනයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර , ඔවුන් මෙම මසුන් තොගය යළි සිංගප්පූරුව බලා ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබේ