අවම බස් ගාස්තුව රුපියල් 34 යි


(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)

සාමාන්‍ය බස් ගාස්තු අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14 කින් පහළ  දමනු ලැබීය.

ඒ අනුව රුපියල් 38 ක් ව පැවති අවම බස් ගාස්තුව රුපියල් තිස් හතරක් දක්වා රුපියල් 4 කින් අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ඩීසල් මිල අඩු අඩුකිරීම සහ ඉකුත් වසරේ නොවැම්බර් 20 වනදා වැඩි  කළ 20% ක බස් ගාස්තු වෙන් සියයට 10 ක ප්‍රමාණයක බස් ගාස්තුවක් අඩු කිරීම මෙම ගාස්තු අඩු කිරීමට හේතු වූ බවයි.

මෙම අඩුවීම ලංගම සහ පෞද්ගලික සාමාන්‍යය බසරථ සියල්ල සඳහාම ක්‍රියාත්මක වන බවත් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

ඒ අනුව දිවයින පුරා ධාවනය වන ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ, අන්තර් පළාත් බස්රථ, පළාත් බස්රථ, සහ ගම්බද ප්‍රදේශවල ධාවනය වන ගැමි සැරිය සහපාසල් දරුවන්ගේ සිසු සැරිය ආදී බස්රථ සේවාවල මෙම ගාස්තු අඩු වන බවත් හෙතෙම කීවේය.

මෙම අඩුවීම අවස්ථා තුන්සිය පනහ සඳහාම ක්‍රියාත්මක වන බවත් මිරැන්ඩා මහතා පැවසීය.

එමෙන්ම  අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස්රථවල ගාස්තු වල වෙනසක් සිදු නොවන බවත් ඔහු සඳහන් කලේය.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන්ට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි ද ඔහු පැවසීය.

එසේම සෑම බස් රථයක ම මෙම මිල අඩුකිරීම ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෙම බස් ගාස්තු අඩු කිරීම ලබා නොදුනහොත් මේ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1955 ට පැමිණිලි කරන ලෙසත් මගී ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කළේය.

මේ සම්බන්ධයෙන් පරීක්සා කිරීමට  ජංගම පරීක්ෂක මහත්වරුන් ශ්‍රී ලංකාවම ආවරණය පරිදි යොදවා ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.