(දයාරත්න ඇඹෝගම)
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක් දුරකට පාලනය කිරිමට හැකිවු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හුරැළුවැව වාරි ඉංජිනේරැ දසුන් තිලකරත්න මහතා පවසයි.
වැව් බැම්මේ උමයකින් මහපරිමාණයෙන් ජලය කාන්දුවී වැව් බැම්ම කැඩියාමේ අවධානමක් මතුව තිබුණි.මෙම අවධානමත් සමග ඒ අවට පදිංචිව සිටි පවුල් සීයකට අයත් සාමාජිකයන් පිරිසක් ඉන්ද්රජෝතියාරාම විහාරස්ථානයේ තාවකාලිකව රදවා සිටින අතර ඔවුන්ට පිසූ ආහාර ලබාදිම සිදුවේ.
පසුගිය දහ වැනිදා උදෑසන හතට පමණ මෙම අවධානම හදුනාගෙන තිබේ. එතැන් සිට මේ දක්වා වැව් බැම්ම කැඩී යාම වැලැක්වීම සඳහා විවිධ ආයතනය වල සහයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. වැව් වාන පහත් කිරීමෙන් හා ස්ථාන දෙකකින් වැව් බැම්ම කප ක්‍රමානුකූලව ජලය බැහැර කිරිමේ කටයුතු සිදුවෙමින් පවතී. වැව් බැම්මේ ස්ථානයකින් උමයක් සැකසීම නිසා මෙම අවධානම් සහගත තත්ත්වය ඇතිවිය. එම ස්ථානයට ද ගල් පුරවා තත්ත්වය පාලනය කිරිමට පියවර ගැනීම සිදුවේ.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීන් මෙන්ම කලාප වාරි අධ්යක්ෂ ජයන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් තත්වය මැඩ පැවැත්විම සදහා එම ස්ථානයට පැමිණ අදාල උපදෙස් ලබාදුන්හ. තත්ත්වය පාලනය කිරිමට සහය විය හැකි සියලු ආයතනවල නිලධාරින් මෙම ස්ථානයේ රැදී සිටියහ.
දිස්ත්‍රික් අපදා කළමණාකරණ සහකාර අධ්යක්ෂ කර්නල් සනත් දිසානායක මහතා මෙම පිලිසකර කිරිම් සදහා ආයතන සම්බන්ධිකරණයෙන් සහය දැක්වුහ.
සිද්ධිය වාර්තා වූ වහාම යුධ හමුදාවේ 120කට අධික භටයන් පිරිසක් මෙම ස්ථානයට පැමිණි වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කළේ ය. මේවන විටත් එම ස්ථානයේ යුධ හමුදාවේ සාමාජිකයන් පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදා සිටිති.
අලුත් දිවුල්වැව වැව යටතේ මෙවර මහ කන්නයේ දී අක්කර 320 ක පමණ කුඹුරු ප්‍රමාණයක් වගාකර තිබේ.