අලුත්ගම මාධ්‍යවේදියාට පහරදුන් පස්දෙනා රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

අලුත්ගම මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා කෘතීම රා ජාවාරමක් සම්බන්ධයෙන් පුවත් පතකට තොරතුරු සැපවුවා යැයි උරණ වී ඔහුට සහ බිරිඳට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ අනුර ඉන්ද්‍රජිත් විමලසිංහ, රෝහණ වැලිවිට, සුදේශ් නිලංග ගුණවර්ධන, සුදේශ් ගයන්ත ද සිල්වා සහ දමිත් ධනංජය ද සිල්වා යන අයවලුන්ය.

ඉකුත් 6 වැනි දින සිදුකළ මෙම පහරදීමෙන් තුසිත ද කුමාර සිල්වා මහතා හා ඔහුගේ බිරිඳ අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුසිත මහතා පමණක් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ බෙලිඅත්ත , නෑබොඩ, නාරාහේන්පිට සහ මොරටුව ප්‍රදේශ වල සැඟවී සිටියදීය.