අලියාට සහ දඬුලේනාට හැඳි දෙකකින් බෙදයි


 

(අංජුල මහික වීරරත්න)

වගා හානි කරන සතුන් ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වගා හානි කමිටුවෙි අවධානයට යොමුවී තිබෙි.

වන අලියා  බෝග හානි සිදු කළත්, ඌ ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට ද කමිටුව තීරණය කර ඇත. ජාතික සත්‍වයා වුවද දඬුලේනා බෝගහානි සිදු කරන සත්ව ලැයිස්තුවට ඇතුළත් කර තිබෙි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව  වගා කරන බෝගවලින් සියයට 40ක් වාර්ෂිකව සතුන් විසින් හානි කිරීම නිසා විනාශයට පත් වන බවත් ජාතික ආහාර සුරක්ෂිතතාවයට මෙම තත්ත්වය බරපතල ලෙස බලපෑමක් එල්ල කර තිබෙන බවත් හඳුනාගෙන තිබෙි.

වනසතුන්ගෙන් වන බෝගහානි අවම කර ගැනීම සම්බන්ධව සියලු ගොවි සංවිධාන සමග කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවල දී  ගොවි නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් සතුන් විසින් කරන බෝග විනාශයන් නිසා නිසි පරිදි ආදායමක් ලබා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා  අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කමිටුවක් පත් කරනු ලැබූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී හා වනසම්පත් අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කමිටු සාමාජිකයෝ වෙති.