(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා රුපිල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා 25,000 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.
ගල්කිස්ස ප්‍රධාන පෙළේ බැංකුවක් ඉදිරිපිටදී විත්තිකාර පොලිස් පරීක්‍ෂවරයා අල්ලස් ගන්නා අයුරූ එහි සී.සී.ටී.වී. කැමරා වල පවා සටහන් වී ඇති බව කීවත් විත්තිකරු ගෙන ඇත්තේ ඔහු විසින් පැමිණීලිකාරියට දුන් මුදල් මිස අල්ලස් නොවේ යැයි කියමින් නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්‍ෂක පී.එච්. සමරවීර ගුණරත්න මහතාය.
2016 මැයි 18 වැනිදාත් ජුනි 20 වැනිදාත් අතර කාලයේ දෙහිවලදී ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් එක් පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඉෂානි අස්විනි ද සිල්වා නමැත්තියගෙන් රුපිල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 25,000ක් ලබාගත් බවට චෝදන 10ක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

