අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

මත්ද්‍රව්‍ය වරදත් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත් අඩංගුවට ගත් වත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලහිරු  ප්‍රමෝද සැකකරු ලබන 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (11)නියෝග කළේය.

සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වත්තල පදිංචි සිල්ලර බඩු අලෙවි කරන වෙළෙඳ සැල් හිමියෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.

පැමිණිලිකරු යටතේ වැඩ කළ සේවකයෙකු මත්ද්‍රව්‍ය වරදකට අධිකරණයට ඉදිරිපත් නොකිරීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ වරුන් කරුණු දක්වමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය වැටලීම සිදුකරනන සැකකරු කුමන්ත්‍රණකාරීව මෙම  සිද්ධියට පටලවා ඇති බැවින් ඔහුට ඇප ප්‍රධානය කරන ලෙසය.

බන්ධනාගාරගත කළහොත් ඔහුව අපරාධකරුවන්ගෙන් වෙන්ව තබන ලෙසට බන්දනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  සැකකරු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සැකකරුගේ ආරක්ෂාව සලසන ලෙසට බන්දනාකාර අධිකාරිවරයාට නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් ධම්මික රත්නායක, බි. ප්‍රියංග යන නීතිඥ මහත්වරුන් පෙනී සිටියේය.