අරුවක්කාලු කසල අංගනයේ කටයුතු අධීක්ෂණයට කමිටුවක්


(තරිඳු ජයවර්ධන)
 
පුත්තලම අරුවක්කාලු කසල අංගනය අධීක්ෂණය කිරීමට කමිටුවක් පත් කරන්නැයි පාර්ලිමේන්තුවේ ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (09) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට නියෝග කළේය.

 
කමිටුවට පක්ෂ බේදයකින් තොරව දේශපාලන නියෝජිතයන්, ආගමික නායකයන් සහ නිලධාරීන් පත් කරන ලෙස ද එම කාරක සභාව දැනුම් දුන්නේය. 
 
එම කමිටුව මේ ගැන අධීක්ෂණය කර මසකට වරක් ආර්ථික කටයුතු ආංශීක අධීක්ෂණ කාරක සභාවට වාර්තාවක් සපයන ලෙස ද මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට දැනුම් දී ඇත.
 
කොළඹ නගරයේ දවස් තුනක් තිස්සේ එකතු වී තිබුණු කසළ එකතු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත්, ටිපර් රථ 14ක් යොදා ගෙන ඒවා පුත්තලම අරුවක්කාලු කසල අංගනය වෙත ගෙන යමින් තිබෙන බවත් ආංශික අධීක්ෂණ කාරක සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.