අරාබිය සමඟ ආර්ථික -ආයෝජන ගිවිසුම අත්සන් කරයි


(අංජුල මහික වීරරත්න)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අත්සන් කෙරිණි.

ලෝක රාජ්‍ය නායක සමුළුව අතරවාරයේදී මෙම ගිවිසුමට අත්සන් කෙරිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  මොහොමඩ් බින් හාඩි අල් හුසේනිබසහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහත්වරු ගිවිසුමට අත්සන් කළහ.

මෙම  ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ගෝලීය වෙළෙඳපොළවල  ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, විදේශයන්හි  ආයෝජන ආරක්ෂා කිරීමත් සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයයි.

ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ,පුළුල් ආයෝජන ආරක්ෂණය, ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ සහ ප්‍රතිපත්ති රාමු සම්පාදනයෙන් දෙරට අතර විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ගිවිසුමෙහි අරමුණයි.

 මෙම ගිවිසුම ගෝලීය ආර්ථික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පහසුකම් සලසනු ඇත. 

ද්විපාර්ශ්වික ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි වන වැදගත්කම මෙම ගිවිසුමෙන් අවධාරණය කෙරෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටෙහි කැපවීම මෙම ගිවිසුම මගින් පෙන්නුම් කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

 ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ හා ව්‍යාපාර ව්‍යාප්තිය දිරිමත් කරන අතරම විනිවිද පෙනෙන සහ ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.

විදේශ සෘජු ආයෝජන (FDI) වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද මෙම ගිවිසුමෙන්  අවධාරණය කෙරේ.

එසේම මෙම ගිවිසුම ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමටත් ආර්ථික ප්‍රගතියට හේතු වන නව ව්‍යාපාරික අවස්ථා ජනනය කිරීමටත් හේතු වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන සබඳතාව ශක්තිමත් කරමින් තිරසාර ආයෝජන සඳහා සහාය වීමටත් දෙරට අතර වෙළෙඳ  හා මූල්‍ය හවුල්කාරීත්වයන් වැඩි දියුණු කිරීමටත් මෙම ගිවිසුම ඉවහල් වනු ඇත.