(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛනයක් නොතිබූ හෙයින් අරගලය අවස්ථාවේදී අස්ථානගතවූ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් හරිහැටි තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව අරගලකරුවන් අතින් විනාශවූ ජනපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාවේ සඳහන් වේ.
මෙම විමර්ශන වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට පසුගියදා බාර දෙනු ලැබීය.
ජනාධිපති මන්දිරයේ අරගල කරුවන්ගේ අණසකට යටත් වූ අවස්ථාවේදී එම ගොඩනැගිල්ලට සහ එහි දේපළවලට යම් යම් හානි සිදුව ඇතත් එම හානි බොහොමයක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් යථා තත්වයට පත්කරගත හැකි බවද ඒ වාර්තාවේ සඳහන් වේ.
ජනපති මන්දිරයේ වැඩියෙන්ම හානිවී ඇත්තේ එහි චිත්‍ර සහ සිතුවම්වලට බවද වාර්තාවේ දැක්වෙයි.
ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩ ඇතුළු දේපළවලට අදාළ පින්තූර දහසකට වැඩි සංඛ්‍යාවක් මෙම වාර්තාවට ඇතුළත් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවී එම මන්දිරය අත්පත් කරගත්තේ පසුගිය වසරේ ජුලි මස 9 වැනිදාය.
ඒ අවස්ථාවේදී ජනාධිපති මන්දිරයේ තිබූ පුරාවස්තු ඇතුළු දේපළ රැසකට හානි සිදුවිය. එම සිද්ධියවී නොබෝ දිනකින් මෙම දේපළ හානි සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබිය.
මන්දිරයේ විනාශවූ පුරාවස්තු සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම සඳහා පොලිසියෙන් කෙරුණු දැනුම්දීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉහත විමර්ශනය ආරම්භ කළේ ඉන් අනතුරුවය.

