(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
දේපළ හානිය වෙනුවෙන් වැඩිම මන්දි මුදල ලබාගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව පවසන අමාත්‍යවරයා ඔහු නවකෝටි පනස් නව ලක්ෂයක මුදලක් ලබාගෙන ඇතැයිද සඳහන් කළේය.
සමහරුන් මේ වන්දි ලබාගෙන ඇත්තේ රජයේ නිලධාරීන්ටද බලපෑම් කරමින් බව ඔහු කීවේය.
සාමාන්‍ය ජනතාව වගා හානියකට ගං වතුරින් කැඩුණු ගේකට වන්දියක් ගැනීමට කොපමණ වෙහෙසක් දරනවාදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා ජාතික ජන බලවේගය බලයට ආවේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට බවද ප්‍රකාශ කළේය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන් අරගල සමයේ දේපළ හානි වෙනුවෙන් ලබාගත් වන්දි පිළිබඳව තොරතුරු අනාවරණය කරමිනි.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.
බලය අතේ තියෙන අය දේපළ හානි සිදුවූ බව පවසමින් ගත්තු වන්දි ප්‍රමාණ බලන්න.
කපිල අතුකෝරළ මහතා පන්ලක්ෂ හාර දහසක්ද , විමල වීර දිසානායක මහතා රුපියල් පන් ලක්ෂ පනස් දහසක්ද ගීතා කුමාරසිංහ මහත්මිය රුපියල් නවලක්ෂ හැත්තෑ දෙදහසක්ද ජනක තිස්සකුට්ටිආරච්චි එකොළොස් ලක්ෂ හතළිස් තුන්දහසක්ද ගුණපාල රත්නසේකර මහතා දාහතර ලක්ෂ දොළොස් දහස් හත්සිය අසූවක්ද ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ලක්ෂ 23ක්ද ප්‍රියංකර ජයරත්න මහතා විසිතුන් ලක්ෂ හතළිස් අට දහසක්ද සම්පත් අතු කෝරළ මහතා විසිපන් ලක්ෂ හතළිස් හය දහස් හයසිය දහයක්ද ජයන්ත කැටගොඩ මහතා විසි අට ලක්ෂ දහ හතර දහස් අට සීයක්ද විමල් වීරවංශ මහතා 2954000ක්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා 3334000ක්ද අකිල එල්ලාවල මහතා 3554550ක්ද චමල් රාජපක්ෂ මහතා 6539374ක්ද චන්දිම වීරක්කොඩි මහතා 6948800 ක්ද අශෝක ප්‍රියන්ත මහතා 7295000ක්ද සමන් ප්‍රිය හේරත් මහතා ලක්ෂ 105ක්ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලක්ෂ එකසිය පහක්ද ලබාගෙන තිබෙනවා.
මෙයට අමතරව රෝහිත අබේගුණවර්ධන මහතා ලක්ෂ 116.4 ක්ද විශේෂඥ වෛද්‍ය සීතා අරබෙපොල මහත්මිය ලක්ෂ 137.8ක්ද සහන් ප්‍රදීප් මහතා ලක්ෂ 171.3ක්ද සෙහාන් සේමසිංහ මහතා ලක්ෂ 185.1 ක්ද ඉන්දික අනුරුද්ධ මහතා ලක්ෂ 195.5ක්ද මිලාන් ජයතිලක මහතා ලක්ෂ 223ක්ද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලක්ෂ දෙසිය අසූ එකක්ද දුමින්ද දිසානායක මහතා ලක්ෂ 288ක්ද කනක හේරත් මහතා ලක්ෂ දෙසිය අනූ දෙකක්ද ඩීබී හේරත් මහතා ලක්ෂ 321ක්ද ප්‍රසන්න රණවීර මහතා ලක්ෂ 327ක්ද ඩබ්ලිව් ඩී වීරසිංහ මහතා ලක්ෂ 372ක්ද ශාන්ත බණ්ඩාර මහතාලක්ෂ 391ක්ද එස් එම් චන්ද්‍රසේන මහතා ලක්ෂ 438ක්ද සනත් නිශාන්ත මහතා ලක්ෂ 427ක්ද සිරිපාල ගම්ලත් මහතා ලක්ෂ 509ක්ද අරුන්දික ප්‍රනාන්දු මහතා ලක්ෂ 552ක්ද සුමිත් උඩුකුඹුර මහතා ලක්ෂ 559ක්ද ප්‍රසන්න රණතුංග මහතා ලක්ෂ 561ක්ද කෝකිලා ගුණවර්ධන මහත්මිය ලක්ෂ පන්සිය අසූහතක්ද මොහාන් පී ද සිල්වා මහතා ලක්ෂ 601 ක්ද නිමල් ලන්සා මහතා ලක්ෂ 692ක්ද අලිසබ්‍රි රහීම් මහතා ලක්ෂ 709ක්ද ගාමිණී ලොකුගේ මහතා ලක්ෂ 749ක්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 934ක්ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් ලක්ෂ 959ක්ද ලබාගෙන තිබෙනවා.
මේ සියලු දෙනා අරගෙන තිබෙනවා එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක්. බලය පාවිච්චි කරලා මේ අය වන්දි ලබා ගත්ත ආකාරය තමයි මේ.ගොවියෙකුට වගාවකට හානියක් වුණොත් ගංවතුරට ගිය අහුවෙලා කෑල්ලක් කැඩිලා ගියොත් වන්දියක් ගන්න කොච්චර අමාරුද. මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කරලා ගත්තු වන්දි ප්‍රමාණය දැක්කනේ. මේක තමයි අපේ රටේ තිබුණු දේශපාලනය. මේවා තමයි අපි හරවාගෙන යන්නේ.