අරක්කු බෝතලේ ස්ටිකරය රජයට රුපියල් කෝටි 5000 අහිමි කරයි


(සුජිත් හේවාජුලිගේ)

මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය නොඇලවීම නිසා රුපියල් කෝටි පන් දහසකට වැඩි ආදායමක් රජයට වාර්ෂිකව අහිමි වන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මෙය රජය පොහොර සහනාධාරය සඳහා වැය කරන මුදලට සමාන මුදලකැයිද ඔහු කියයි.

මෙම ආරක්ෂක ස්ටිකරය නොමැතිවීම වාසියට ගනිමින් මත්පැන් නිෂ්පාදන ආයතන බොහොමයක් මත්පැන් බෝතල් දහසක් නිෂ්පාදනය කර බෝතල් පන්සීයක් නිෂ්පාදනය කළ හැටියට රජයට පෙන්වන බව පැවැසූ රාජ්‍ය අමාත්‍ය වරයා බොහෝ දෙනාට මෙම ස්ටිකරය ගැන රිදී ඇත්තේ මේ නිසා බව ද සඳහන් කරයි .

ආරක්ෂක ස්ටිකරය ඇලවීම සඳහා රජයට වර්ෂයකට වැය වන්නේ රුපියල් කෝටි 100 ක පමණ මුදලක් පමණකැයිද එම ස්ටිකර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් ඊට වැඩි ලොකු ආදායමක් උපයා උපයා ගත හැකි වන්නේ යයිද කබ්රාල් මහතා අනාවරණය කළේය.