අයියා මලෝ තිදෙනා පොලිසියට ගහලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිවසේ තිබෙන කැසට් යන්ත්‍රය අධික ශබ්දයක් නැගෙන අයුරින් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කළ කපුගොල්ලෑව පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයකුට පහර දුන් බව කියන එකම පවුලේ 17 හැවිරිදි පාසල් සිසුවකු ඇතුළු සහෝදරයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කපුගොල්ලෑව පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම සැකකාර අයියා මලෝ තිදෙනා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහෝදරයන් දෙදෙනා කසිප්පු පෙරා විකිණීමේ ජාවාරමක නිරතව සිටින අය බවද පොලිසිය සඳහන් කරයි.

විහාරස්ථානය ආසන්නයේ පිහිටි නිවසක ක්‍රියාත්මක කර ඇති කැසට් යන්ත්‍රයනිකුත් වන අධික ශබ්දය උහුලා ගැනීමට නොහැකි බවත් මේ නිසා විහාරස්ථානයේ ආගමික කටයුතු වලට පවා මහත් බාධාවක් සිදු වී තිබෙන බවත් පවසමින් කපුගොල්ලෑව පොලිසියට දුරකථනයෙන් කතා කර දැනුම් දී ඇත.

පොලිස් කණ්ඩායමක් මේ ගැන සොයා බැලීමට ගොස් කැසට් යන්ත්‍රයේ ශබ්දය අඩු කරන ලෙස දාහත් හැවිරිදි පාසල් සිසුවාට දැනුම් දුන් අවස්ථාවේ ඔහු එම දැනුම්දීම කළ පොලිස් සැරයන්වරයාට අතින් පහර දීමක් සිදු කළේ යැයි පොලිසිය කියයි.

මෙම පහරදීමෙන් පොලිස් සැරයන්වරයාගේ තොල් පුපුරා තුවාල සිදුවී ඇතැයිපොලිසිය සඳහන් කරයි.

කපුගොල්ලෑව පොලිසියටඑම ගම්මානයට ගොස් සිටි නිලධාරීන් මේ බව දැනුම් දී තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ජිප් රථයෙන් බැස නිවස වෙත එමින් සිටි අතරවාරයේ දහහත් හැවිරිදිසිසුවාගේ සහෝදරයන් දෙදෙනා පොලිස් ස්ථානාධිපතිවරයාට පොලු පහර එල්ල කර පලා ගොස් ඇතැයි ද පොලිස් ආරංචි   මාර්ග වලින් දැන ගැනීමට ඇත.