අයවැය දෙපාරක් පැරදුණත් ලොකු පුටුවට ගැටලුවක් නෑ


(සුජිත් හේවාජුලිගේ)

කොළඹ මහ නගර සභාවේ  හෝ වෙනත් ඕනෑම පළාත් පාලන ආයතනයක අයවැය දෙපාරක්   පරාජය  වුවත් ඒවායේ  පාලන  බලයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් පැෆරල්  සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ පළමු අවස්ථාවේ මෙන්ම දෙවැනි අවස්ථාවේ  අයවැය පරාජය වුවත්  පළාත්  පාලන ආයතනයක  ප්‍රධානියාට  පාලන බලය ගෙන යෑමට කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.

කෙසේ වෙතත්  තුන්වැනි  අවුරුද්දේදී අයවැය සම්මත නොවුණහොත්    ගැටලුවක් මතුවන බවත් සියලු දේශපාලන පක්ෂවලට අයවැය යෝජනාවේ සාධාරණ ඉඩක් ලබා දී නොමැතිව තුන්වැනි අවුරුද්දේ දී අයවැය පරාජයට පත් වුවහොත්   නගරාධිපතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ තනතුර අහිමි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මුලින් පැවැති  නීතිය අනුව අයවැය පරාජය වීමේදී තනතුරු අහිමිවීමක් සිදුවුණු බව කී හෙට්ටිආරච්චි මහතා නව නීතිය අනුව එනම් 2012 අංක 21  පළාත් පාලන සංශෝධන පනත අනුව  එවැන්නක් සිදු නොවන බව ද සඳහන් කළේය.

මේ පනත සංශෝධනය වන්නේ වන්නේ ද  එම ගැටලුව නිසා බව ඔහු කීවේය.

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය පෙරේදා (22) පරාජයට පත්විය.

අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර  ඊට පක්ෂව හිමිවූයේ ඡන්ද 57ක් පමණි.