අමිතාබ් බච්චන්-ෂාරුක් ඛාන් වෙත මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරීන්ගේ විමසුම් ඇස


හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ සුශන්ත් සිං රාජ්පුත්ගේ දිවිනසාගැනීම සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ මේ වනවිට මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන බවට පෙරැළී තිබේ. හින්දි සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසකට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි ඉන්දීය මත්ද්‍රව්‍ය පාලනය අධිකාරිය පවසයි.

ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් සහ ෂාරුක් ඛාන් වෙතද නිලධාරීන්ගේ විමර්ශනාක්ෂිය එල්ල වී තිබේ. රකූල් ප්‍රීත් සිං, ශ්‍රද්ධා කපූර්, දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන් නළුනිළියන් ප්‍රශ්න කිරීම සඳහා මත්ද්‍රව්‍ය පාලන අධිකාරියට කැඳවීමට නියමිතය.

දිවි නසාගත් සුශන්ත් සිං රාජ්පුත් පිළිබඳව අමිතාබ් බච්චන්, රන්වීර් සිං, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් ආදී බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිත පවා වචනයකුත් සඳහන් නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. ඔවුන් ට්විටර් ගිණුම්වල සෑම දිනකම යමක් සඳහන් කෙරෙන නමුත්, මේ පිළිබඳව නිහඬ බවක් පළ කර ඇතැයි ඔවුහු පවසති.

කරීනා කපූර්, ජාන්වී කපූර්, අනන්‍යා පාණ්ඩේ, ෂාහිඩ් කපූර් වැනි නළු නිළියන් පවා මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැතැයි ඔවුහු සඳහන් කරති.