අම්මයි දරුවන් දෙන්නයි එළියට ඇද දමා නිවස බිමට සමතලා කරලා


(රොෂාන් දිලිප් කුමාර)

හම්බන්තොට,මයුරපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැඳුණු මැර පිරිසක් එහි පදිංචිව සිටි මවට පහර දී දරු දෙදෙනා සමග ඇය එලියට ඇද දමා නිවෙස කඩා බිඳ විනාශ කර ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය කියයි.

පනස් දෙනකුට අධික මැරයන් පිරිසක්  නිවෙසට කඩා වැදී පහරදී දරුවන් දෙදෙනා සමග තමා එළියට ඇද දමා නිවෙස කඩා බිඳ දැමූ බව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

කුඩා නිවසක් සදාගත් එම  ඉඩම වෙනත් පාර්ශවයකට අයත් බව පවසමින් එම  ඉඩමෙන් ඉවත්වෙන ලෙස අවස්ථා කීපයකදී බලපෑම් කර ඇති බවද ඒ සම්බන්දව අම්බලන්තොට පොලිසිය විමර්ශන සිදු කොට ඉඩම් ගැටලුව නිරාකරණය කිරීම සදහා මයුරපුර මහවැලි අධිකාරී කාර්යාලයටද යොමු කර ඇත.

සංචරණ සීමා ලිහිල් කෙරුණු පසු ඉඩම් ගැටලුව නිරාකරණය කර දෙන බවට මහවැලි කාර්යාලය දෙපාර්ශවයටම දැනුම් දී තිබියදී තර්ජනය කර,පහරදී නිවස කඩා දැමීමේ සිද්දිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.