(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක සිසුන් දෙපිරිසක් අතර සිදු වූ ගුටි බැට හුවමාරුවකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් ගැටුමට සම්බන්ධ යයි සැකකෙරෙන සිසුන් හතර දෙනෙක් අත් අඩංගුවට ගත් බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොල්වත්ත පදේශයේදී මේ සිසු ගැටුම ඇතිවී ඇති බවත් එම ගැටුම පිළිබදව සැලවී පොල්වත්ත මංසන්ධියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මේ ගැටුම්න් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
මේ ගැටුමෙන් තුවාල ලත් එක් සිසුවෙකුට තවත් සිසුවකු එල්ල කරන ලද පොලු පහරකින් සිහිසුන්ව වැටී සිටි බව ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ නගරයේ පැවති පෞද්ගලික උපකාරක පංතියක් නිමාවීමෙන් පසු මේ සිසු ගැටුම ඇතිවී තිබෙන බවත් පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොල්වත්ත පදේශයේ පදිංචි සිසුවෙකු ඇල්පිටිය පදේශයේ පදිංචි සිසුවකුගෙන් අතමාරුවට යම් මුදලක් ඉල්ලාගෙන ඇති බවත් ඇල්පිටියේ පදිංචි සිසුවා ඔහුගේ මිතුරන් පිරිසක් සමග අත මාරුව ඉල්ලාගත් සිසුවාගෙන් තමා දුන් අත මාරුව ඉල්ලා ගැනීමට ඔහුගේ පොල්වත්ත නිවසට යමින් සිටියදී මේ දෙපාර්ශවය අතර ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මේ සිසු ගැටුම ඇතිවී ඇති බවත් පොලීසිය කියයි.

